පිළිකුත්තුව රජමහා විහාරය
- sujimaxx
- Dec 3, 2018
- 2 min read

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මේ පුදබිම බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවුනු ස්ථානයක්. එය නමින් පිළිකුත්තුව රජමහා විහාරයයි. මෙහි යාමට ප්‍රථම සිදු කරන ලද කරුණු සොයා බැලීමකදී අපට අනාවරණය වූයේ මෙහි නාමය සෑදීම පිළිබදව තිබුණු අපූරු කතා පුවතයි. ඒ ක්‍රිස්තුපූර්ව පළමුවන සියවසේදී මෙම විහාරය පිහිටි භූමි භාගය තුළ පිහිටි වනාන්තරයේ වළගම්බා රජු සැගව සිට සේනා සංවිධානය කොට නැවතත් අනුරාධපුර රාජධානියේ රජ වූ බවයි. සැගවී සිටි රාජකීයයන්ගේ ආභරණ සහ සලු පිළි සැගවූ බැවින් මෙම ප්‍රදේශය පිළිකුත්තුව ලෙස හැදින්වූ බවට එක් ප්‍රවාදයක් පවතින අතර තවත් ජනප්‍රවාදයකට අනුව මෙම ගම් වැසියන් විසින් රාජකීයයයන්ට රෙදි පිළි සැපයූ බැවින් පිළිකුත්තුව ලෙස නාමය ලැබී ඇත.
කොළඹ නුවර මහා මාර්ගයේ මිරිස්වත්ත හන්දියෙන් හැරී වතුරුගම මාර්ගයේ කිලෝමීටර හතරක් පමණ ගිය තැන්හි ඇති පිළිකුත්තුව හන්දියෙන් හැරී කිලෝමීටරයක පමණ දුරක් පසු කළ විට පිළිකුත්තුව රජමහා විහාරයට ළගා විය හැක. පාර සොයා ගැනීම ඉතාමත් පහසු වන්නේ මෙම විහාරස්ථානය ප්‍රදේශවාසීන් අතර ඉතාමත් ප්‍රචලිත බැවිනි. මෙම විහාර සංකීර්ණ්‍ය සතුව ගල් ලෙන් අනූනවයක් පවතින අතර ඒවායින් බොහෝමයක අදටත් කටාරම් කෙටූ සලකුණු දැක ගත හැකි වනවා. වර්ශාවෙන් එකතු වන ජලය ලෙන තුළට ඒම වැලැක්වීමට සහ එම පිරිසිදු ජලය නිසි ලෙස කළමනාකරණය කොට එක් කර ගැනීම සදහා මෙම කටාරම් කොටා තිබෙනවා.
මෙම විහාරස්තානය ප්‍රථමයෙන්ම සංඝයාවහන්සේලාට සුදුසු වන පරිදි සකසා පූජා කර ඇත්තේ දේවානම්පියතිස්ස රජු විසින් වන අතර පසු කාලීනව වළගම්බා රජු විසින් සැගවී සිට සේනා සංවිධානය කිරීමට මෙම ලෙන් සංකීර්ණය උපයෝගී කරගෙන තිබෙනවා. මෙහි කැනීම් වලදී ඉපැරණි පොසිලන් වර්ග රත් පැහැ වළං කැබලි, පබලු වර්ග වැනි දෑ සොයාගෙන තිබෙනවා. මීට අමතරව ගල් ආයුධ සහ පොළොන්නරු දඹදෙනි යුග වලට අයත් කාසි වර්ගද මෙම ස්ථානයෙන් සොයා ගැනීමට පුරාවිද්‍යාවරු සමත් වී තිබෙනවා. පිළිකුත්තුව රජමහා විහාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල වන්නෙ ලෙන් විහාරයයි. මෙහි සැතපෙන පිළිමයක්, සමාධි පිළිමයක් හා හිටි පිළිමයක් පවතින අතර විහාරස්ථනය පුරාම අලංකාර සිතුවම් දැකගත හැකි වනවා. විහාරයේ ඇති තවත් එක් ලෙනක් නයි පෙණයක හැඩය ගන්නා අතර ඒ තුල දාගැබක් ඉදිකර තිබෙනවා. ඒ ඉදිරිපිට බෝධීන්වහන්සේලා දෙනමක් වැඩ සිටින අතර එක් බෝව්හියක් ප්‍රචලිත වන්නේ කුමර බෝධිය ලෙස අතර අනෙක කුමරි බෝධිය වනවා. මෙහි ඇති බෝධි වෘක්ෂ දෙක දරු ඵල අපේක්ශාවෙන් භාරහාර වීම සදහා ප්‍රසිද්ධියක් උසුලනු ලබනවා.

ශ්‍රී ලංකාවේ භික්ෂුණියන් සිතුවමට නගා ඇති එකම ස්තානය මෙය වනවා. රහත් සහ රහත් නොවූ ආදී සියලුම භික්ෂුණියන් මෙහි සිතුවමට නගා තිබෙනවා. මෙම චිත්‍ර පිළිකුත්තුව රජමහා විහාරයටම ආවේණික බැව් අපට වැටහුනේ අප පෙර ගිය කිසිදු විහාරස්ථානයක මෙවැනි ආකාරයේ සිතුවම් දැක ගැනීමට නොලැබුණු නිසායි. මීට අමතරව මෙහි දොරටු පාලක රූපන් ලෙස සිතුවම් කර ඇත්තේ පෘතුගීසි සෙබලුන් දෙදෙනෙකු වීම තවත් එක් විශේශත්වයක්. විහාරයේ පිටත මාලයේ බිත්ති මත ජාතක කතා සිතුවම් කර ඇති අතර මෙම කතා වලට ලන්දේසි හෝ පෘතුගීසි ආභාශයක් ලැබී ඇතැයි සිතිය හැක්කේ එම සිතුවම් වලින් නිරූපිත පුද්ගලයන් විදේශීය හුරුවක් අනුව සිතුවමට නගා ඇති නිසායි. මීට අමතරව පිටත මාලයෙ වහලය මත ලග්න දොලහ ද සිතුවමට නගා ඇත.
විහාරස්ථානය නැරඹීමෙන් සහ වැදපුදාගැනීමෙන් අනතුරුව අප පිවිසුනේ පිළිකුත්තුව ව්ෘක්ශ අභය භූමියටයි. මෙම විහාරය අවට පිහිටි වනය ජෙයිව විවිධත්වයෙන් අනූන වීම නිසා සහ විහාරස්ථානය සබැදි පුරාවිද්‍යා වටිනාකම නිසා වනසංරක්ශණ දෙපාර්තමේන්තුවේ පරිසර කළමණාකරන ව්‍යාපෘතිය යටතේ 2003 වසරේ මෙම වනය වෘක්ෂ අභය භූමියක් ලෙස නම් කර ඇත. ආසියාවේ පැරණිම පුස් වැල පිහිටන්නෙද මෙම අභය භූමියේයි. වෘක්ෂලතා වලට අමතර මෙම භූමිය හාවුන්, මීමින්නන්, උණහපුලුවා, කොළ දිවියා, හදුන් දිවියා , ඉත්තෑවා සහ කැලෑ බලලා ආදී සතුන්ටද අභය භූමියක් වී ඇත.
📷
මෙහි දැනට ස්වාමීන්වහන්සේලා වැඩ වාසය කරන අතර වැඩි දුර තොරතුරු දැනගැනීම්ට උන්වහන්සේලාගේ සහය ලබා ගත හැකිය. ඉතාමත් සුන්දර වූද ඓතිහාසික වටිනාකම් රැසක් ගොනු කරගත්තා වූද පිළිකුත්තුව රජ මහා විහාරය ශ්‍ර්‍රි ලාංකිකයෙකු විසින් කවදා හෝ සියැසින් දැකබලාගෙන වැදපුදාගත යුතු ඉතා වටිනා ස්ථානයක් වේ.

Comments