කළු ගඟ දිගේ රවුමක්
- sujimaxx
- Nov 11, 2018
- 7 min read
Updated: Nov 26, 2018

සුන්දර ගම් පළාත වූ කළුතර ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ කාරනා දෙකක් නිසයි. එකක් බෞද්ධයන්ගේ නිරන්තර පූජාවන්ට සහ ගෞරවයට පාත්‍ර වූ කළුතර බෝධියයි. අනෙක සුන්දර වූ කළු ගං කොමලියයි. අතීත ග්‍රන්ථ වල කාල වාහිණි ලෙස දක්වා ඇති කළුගඟ ආරම්භ වනුයේ සමනල කන්දෙනුයි. නමුත් මෙහි ආරම්භය පිළිබඳව විවිධ මති මතාන්තර ඇති අතර මෙය රත්නපුර රක්වාන ප්‍රදේශයේ බුළු තොට හෙල් යන කඳු පද්ධති ආශ්‍රිතව ආරම්භ වන බවට කෙනෙක් පවසනවා. කෙසේ නමුත් කළුගගට කළුතර ඇති සම්බන්ධතාවය වනුයේ මේ සුන්දර නදිය මහා සමුදුර හා එක් වන්නේ කළුතරින් වීමයි. අද දින අපගේ ගමනේ අරමුණ වන්නේ මේ කළු ගඟ ආශ්‍රිතව ඇති එක්තරා ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක් නැරඹීමට යාමයි. මේ ගමනේ ඇති විශේෂත්වය වනුයේ අප අද ගමන් කරන්නේ බිමින් වෙනුවට ජලය මතින් වීමයි. කලින් සැලසුම් කරගත් පරිදි අපගේ ගමන සෙනසුරාදා දින උදැසනම යොදාගත්තත් පැවති වැසි සහිත කාලගුණය නිසා අපට ගමන ආරම්භ කරන්නට හැකි වුයේ මදක් පමා වීයි.කළු ගඟ ඔස්සේ බෝට්ටු චාරිකා මාදු ගඟේ තරම් සුලභව නොමැති අතර ඒ සඳහා අප කලින් දිනයකදී බෝට්ටු හිමිකරුවෙකු සමග කතා බස් කොට බෝට්ටුවක් වෙන් කර ගත අතර එම බෝට්ටුව කළු ගඟේ පාලම ආශ්‍රිතව දේශීය සහ විදෙශීය සංචාරකයන් චාරිකා වල රැගෙන යන්නක්. කලින් කතා කර ඇත පරිදි අප හමු වුයේ කළුතර කැලිඩෝ වෙරල තීරයෙදියි.නමුත් වර්ෂා කාලගුණය නිසා අප බෝට්ටුව දියත් නොකර මද වෙලාවක් සිටි අතර වැහි පොද අතරින් අප හෙමිහිට අතරව යාත්‍රාව දියඹ දෙසට පැදවූයේ මද වැහි අඳුරේමයි. නමුත් ටිකෙන් ටික කාලගුණය වඩාත් යහපත් අතට හැරුනේ අපගේ ඉල්ලීම් දෙවියන් විසින් ඇහුම්කන් දුන් නියායෙන්.

ගමන ආරම්භයේදීම අප පිළිගැනීමට පැමිණියේ දිය ගොඩ දෙකෙහිම වසනා කබරගොයෙක්. අපගේ බෝට්ටුවේ සිට අත පොවන මානයෙන් කබරගොයා ඔහේ පාවී ගියේ අපේ බෝට්ටුව පිළිබඳව වගේ වගක් නැතිවයි.කබරගොයා ගඟේ ඉවුරු ආශ්‍රිතව බහුලස වාසය කරන බවත් ගං දියට වඩා තෙත් වගුරු ආශ්‍රිතව සැරි සැරීමට කැමති බවටත් අපගේ බෝට්ටු හසුරවන්නා විසින් පැවසීමට යෙදුනු අතර වගුරු ආශ්‍රිතව ඔවුනට ආහාර සුලභ වීම මොවුන් වගුරු වලට ඇල්ම දැක්වීමට හේතුව යයි අපට සිතුනා.
අපගේ බෝට්ටු කරු විසින් සැපයූ ජීවිතාරක්ෂක කබා පැළඳගෙන අප පොද වැස්සේම කළු ගඟේ ඉහලට ගමන් කළා. අපගේ බෝට්ටුව දස දෙනෙකුට පමණ යාමට හැකි වන අයුරින් සකසා තිබුණු අතර ආසන ලෙස ලී පටි වලින් සැදු බංකු තිබුනේ බෝට්ටුව ගැට්ට දෙපසට වන්නටයි. මෙම බෝට්ටුව අතර එමගින් අපට තෙමීමෙන් වැලකීමට හැකි වුණා. ගඟ දිගේ ගමන ආරම්භයේදීම අප පසු කලේ ගිං පොල් වලින් ගහන වූ ප්‍රදේශයක්.එය මීටර පන්සියයක් පමණ දිගට පැතිර තිබුණු අතර තැනින් තැන ගිං පොල් මල් සහ ගෙඩි දක්නට ලැබුණා. ශ්‍රී ලංකාවට ආවේණික ජලාශ්‍රිත ශාකයක් වන ගිං පොල් වලින් ශ්‍රී ලාංකිකයා ගන්න ප්‍රයෝජන නම් ඉතා අල්ප නමුත් මෙය ගංගා ඉවුරු වල ඉවුරු ඛාදනය වැලක්වීමට විශේෂයෙන්ම උපකාරී වනවා. මූලික වශයෙන් මෙම ශාකයේ පත්‍ර අතීතයේදී වහල සේවිලීමට සහ වට්ටි ආදිය විවීම සඳහා භාවිත කර තිබුනේ මෙය පොල් අයත් වන තාල වර්ගයට අයත් ශාකයක් වීම නිසයි. නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙය එතරම් ආර්ථික වශයෙන් ප්‍රයෝජනයක් නොමැති ශාඛයක් බවට පත් වී තිබෙන නමුත් මෙයින් සිදු වන පරිසර සංරක්ෂණය අති මහත්.
ඉන්පසු අප කෙමෙන් කෙමෙන් පසු කරමින් සිටියේ සුප්‍රසිද්ධ කළු ගං පාලමයි. මෙය රේල්පාර සඳහා එක පාලමක් ලෙසත් සාමාන්‍ය වාහන ධාවනය සඳහා තවත් පාලමක් ලෙසත් පාලම දෙකකින් යුක්ත වුනු අතර අධික වර්ෂාව හේතු කොටගෙන ගසාගෙන ආ උන බම්බු සහ විශාල කොටන් මේ පාලම කණු ආශ්‍රිතව රැඳවී තිබුණු බැවින් අපගේ බෝට්ටු කරු ඉතා ප්‍රවෙසමට බෝට්ටුව ධාවනය කළා. අපගේ එක පසකින් කළුතර බෝධිය ඉතා දර්ශනීයව දිස් වුනු අතර අප හිමින් සීරුවේ ගඟ ඉහල ප්‍රදේශය බලා ගමන් කළා.
ගඟ දෙපස පිහිටි අලංකාර හෝටල සහ ආපන ශාලා අතරින් අප ඉදිරියටම ගමන් කල අතර අපට මුලින්ම දක්නට ලැබුණු ප්‍රාණියා වුයේ බිඟුහරයෙක්. කොට්ටම්බා ගසක ඉහලම ඇත්තට වී තම තටු වෙලා ගැනීමට උත්සාහ කල මේ අලංකාර පක්ෂියා අප බෝට්ටු ශබ්දය අසා ඈතට ඉගිල ගියා. ඉන්පසු අප ගමන් කරමින් සිටියේ ජලය තුලින් ඉහලට එබී අහස බලා ඉන්නා ශ්වේත වර්ණ පැළෑටි ගොනුවක් ආසන්නයෙනුයි. ඒ අප බොහෝ දෙනෙක් ආහාරයට ගැනීමට ආසා කැරැන් කොකුයි. ජලය තුලින් එබී බලා සිටි කැරැන් කොකු අද සුලභව හමු නොවනා රසවත් ආහාරයක්.
යන අතරමගදී අපට ඇළ පහර කිහිපයක් හමු වූ අතර ඒවා නොයෙක් ගම්මාන වලින් ආරම්භ වී කළු ගඟ දක්වා ගමන් කරනා ඒවායි.යන අතරමගදීද අප බොහෝ ගිං පොල් ශාක දුටු අතර ඒවායින් කෙරෙන සේවය පිළිබඳව සිතා ගැනීමට අපොහොසත් නොවුයේ ඒවායේ පිහිටීම නිසයි. ගිං පොල් පමණක් නොව තවත් ජලජ ශාක රාශියක් අප බෝට්ටුවෙන් පසු කර ගමන් ගත් අතර ඒවා පිළිබඳව ජනවහරේ ජන වහරේ යෙදෙන නම් උපයෝගී කරගෙන ඒවා හඳුන්වා දීමට අප බෝට්ටු කරු මැලි වුයේ නැහැ.
අප ඉදිරියටම ගමන් ගන්නා අතරේ අප දෙසට ඈත සිට අප දෙසට පැමිණි කොල්ලෑවක් බැඳී ඔරුවක් අපගේ ගමන කළා. එම ඔරුව පිරෙන්න බඩු පටවා තිබුණු අතර අපගේ බෝට්ටු කරු පැවසුවේ පෙර දිනයේ සවස මසුන් සඳහා දැල් එලීමට ගොස් නැවත ගොඩට යන ධීවරයින් දෙදෙනෙකු බවයි. ඔවුන්ගේ බදු අතර පොල් ගෙඩියක් සහ නොයෙකුත් ගෝනි දැක්මට තිබුණු අතර මොවුන් මිරිදිය මසුන් අල්ලන්නන් බවත් ජලයේ පා වී පොල්, දර කැබලි ආදියද ගමන් ගන්න බවත් අපගේ බෝට්ටු කරු පැවසු අතර බොහෝ විට ඔවුන් සතුව අල්ලා ගත් මසුන්ද තිබිය හැකි බව පැවසුවා. අපගේ වූ විට අප ඇසුවේ අල්ලපු මසුන් නැද්ද යන්නයි. ඊයේ දිනය එතරම් සාර්ථක එකක් නිවු නොවූ බවත් ලොකු ඉස්සන් තිදෙනෙකු පමණක් අල්ලා ගත බවත් ඔවුන් අපට පැවසුවේ අල්ලා ගත් ඉස්සන් අපට පෙන්වමින්. එය දුටු අපට එක වර හිනා ගිය අතර හේතුව වුයේ මොවුන් ඉස්සන් යයි පවසා තිබුනේ විශාල පොකිරිස්සන්නට වීමයි.අඬු රාශියකින් යුත් පොකිරිස්සන් දකින විට බියක් දැනුනත් එම බිය තුනී වී කනගාටුවක් ඇතිවුයේ ඔවුන් ගේ ප්‍රාණය මේ වන විටත් වා තලයට මුසු වී හමාර වී තිබු නිසයි. මිලදී ගන්නවා නම් තුන් දෙනාම රුපියල් එක්දහස් පන්සියයකට දෙන්නම් යයි කීවත් අප ඔවුන්ගෙන් සමුගෙන ඉදිරියට ඇදුනේ පොකිරිස්සන් කෑමට තරම් පිරියක් අපට නොතිබූ බැවින්.
ඉන්පසු අප පසු කරමින් සිටියේ ගං ඉවුරේ පිහිටි කෙටල ගාලක්. කෙටල යනු කිඹුලන්ගේ වාසස්ථානය ලෙස බෝට්ටු කරු පැවසු බවින් අප ඉතා විමසිලිමත්ව කෙටෙල පඳුරු දෙස බලමින් ගමන් ගත්තේ බෝට්ටුවේ එන්ජිමද නතර කර ගනිමින්. කිඹුලන් ගොඩබිමට ඇදුනු ස්ථාන සහ කිඹුල් පා සටහන් ලෙස ඉවුරු වල ඇති ස්ථාන කිහිපයක් අපට පෙන්වීමට බෝට්ටු කරු සමත් වූ නමුත් අප කිඹුලන් දැක ගැනීමට නම් වාසනාවන්ත වුයේ නැහැ. මෙදින අධික වැසි නිම වූ විගසම දිනයක් වූ බැවින් සහ ගංගා ජලයේ වූ බොර ගතිය නිසා කිඹුලන් දැක්මට අපහසු ලෙස අපට සිතුනු අතර තවදු රටත් බෝට්ටු කරු අප හා ඉදිරියට ගමන් කලේ කිඹුලා පිළිබඳව රසවත් කතා පවසමින්.

අප දැන් ගමන් ගනිමින් සිටියේ සුන්දර ඕලු සහ මානෙල් මලින් ගැවසී ගත් කුඩා ඇළ පහරක් ඔස්සේයි.මෙම ඇළ කුඩා ගොඩබිමක් වටේ ගමන් කර නැවතත් ප්‍රධාන ගංගාවට වැටෙන බව අපගේ බෝට්ටු කරු විසින් පවසන්නට යෙදුණා. මෙම ප්‍රදේශය ඉතා අලංකාරවත් සහ සුවඳවත් එකක් වුයේ ඕලු මල් පිරී තිබුන නිසයි. නමුත් ඕලු දඬු නිරන්තරයෙන්ම බෝට්ටුවේ මෝටරයේ පැටලවුණු බැවින් අපගේ ගමනට බාධා ඇති වුණා. සරින් සැරේ බොටුව නතර කර මෝටරය පිරිසිඳු කිරීමට අපගේ බෝට්ටු කරුට සිදු වුනු අතර මේ වන විට අප ආසන්නයේ ඉහල අහසේ කරකැවෙමින් සිටියේ බ්‍රාහ්මණ රාජාලියෙක්.එම ඇලෙන් මෑත් වී අප නැවතත් ප්‍රධාන ගංගාවට පැමිණි අතර අහස වැහි අඳුරින් බරව තිබුනේ කොයි මොහොතේ හෝ වැස්සක් කඩා වැටෙතැයි කියමින්. නමුත් අප බෝට්ටු කරුගෙන් ඉල්ලා සිටියේ ඉදිරියට අප ගමන්නන්තය දක්වාම ධාවනය කරන ලෙසටයි. අද අප යන මේ ගමන එක්තරා අයුරකින් එයිතිහාසික වටිනාකමින් යුක්ත එකක් වන අතර එම වටිනාකම ඇති ස්ථානය පිහිටා තිබුනේ අපගේ ගමන කෙලවරෙයි. එනිසා අපට ගමන සම්පූර්ණ කල යුතු වුණා. මැරුණු ගසක උඩම අත්තේ තවත් උකුස්සන් දෙදෙනෙකු වසා සිටියේ තරහ කරුවන් දෙදෙනෙක් පරිද්දෙන්. අප ඉතා අසීරුවෙන් ඔවුන් චායාරූපයට නැගුවේ එම ගස බෝට්ටුවේ සිට සැහෙන දුරකින් පිහිටා තිබුණු නිසයි.
මේ වන විට අපගේ දකුණු දිශාවෙන් අප පසු කරමින් සිටියේ සුප්‍රසිද්ධ රිච්මන්ඩ් මැදුරයි.මැදුරට ගංගාව ඉතාමත් හොඳින් දර්ශනය වන ලෙස තනා තිබුනත් ගංගාවේ සිට බලන විට එය දර්ශනය වුයේ යාන්තමින්. කළුතර පිහිටි එක්තරා සුවිශේෂී ස්තානයක් ලෙස මෙම රිච්මන්ඩ් මැදුර හැඳින්වීමට පුළුවන්. ශ්‍රී ලාංකිකයෙකුගේ ප්‍රෞඩ නිර්මාණයක් වන මෙය දැනට මහා භාරකාර මණ්ඩලය යටතේ පාලනය කෙරෙන අතර මෙහි පිරිමි ළමුන් සඳහා නිවාසයක් පවතිනවා. ඉතා විශාල භුමි ප්‍රමාණයක පැතිරී ඇති මෙම මැදුරේ අතීත කතාව නම් ඉතාමත් ශෝචනීයයි.
එය පසු කරමින්ඉදිරියට ඇදුනු අප හට ඉන්පසුව දැක ගත හැකි වුයේ අපගේ වම් පැත්තේ ඇති ඉවුරේ මදක් ඇතුලට එන්නට පිහිටා ඇති පළලින් ඉතා වැඩි තාප්පයයි. එය කළුතර ජාවත්ත බන්ධනාගාරයේ තාප්පය යයි බෝට්ටු කරු විසින් අපට පැවසු අතර යුධ සමයේ ත්‍රස්තවාදීන් සිර කර සිටියේ මෙම බන්ධනාගාරයේ වූ අතර දැනටත් මෙය දැඩි ආරක්ෂාව යටතේ පවතින ස්ථානයක්.
ඉන්පසුව අප පසු කරමින් සිටියේ ප්‍රසිද්ධ නැව් සමාගමක් පුහුණු වීම් කටයුතු කරනා ස්ථානයකුයි. එහි නොයෙකුත් ආකාරයේ බෝට්ටු වර්ග සහ විවිධ කිමිදුම් උපකරණ ගබඩා කොට තිබු අතර අද දිනයේ පැවතියේ ජන ශුන්‍යවයි. එම ස්ථානය පසු කල අප ඉන්පසුව අපගේ ගමන වේගවත් කලේ ගං ඉවුරු දෙපස එකාකාරී වීම නිසයි. ඉවුරු වල ගස් වල මොනරුන් සහ අළු කොබෙයියන් බහුලව දක්නට ලැබුණු අතර විටින් විට කුරුළු ගොයෙකු දක්නට ලැබුනා. පොද වැස්සට තෙමී සිටි උන් මද හිරු එළියෙන් සිය තටු වියලා ගැනීමට උත්සාහයක යෙදුනේ අපූරු රැඟුම් රටා මවමින්.
අපගේ ගමන කඩිනම් කලේ අප සුන්දර දිය කාවුන් පෙළක් පසු කරමින්. අවසාන අප සිටියේ අපගේ ගමන්නතය වූ පැලුණු ගල අභියස. මෙය කළු ගඟ මැද පිහිටි විශාල කළු ගලක් බදින දෙකට වෙන් වී තිබුනේ කෙනෙකු පොරවකි පහරක් ගසා වෙන් කල පරිද්දෙන්. මෙය හා සම්බන්ධ කතා රාශියක් ඇති අතර අපගේ බෝට්ටු කරු පැවසුවේ මෙම ස්ථානයේ නිධානයක් ඇති බවත් එය ගැනීමට වැරදි මන්තරයක් පැවසු නිසා ගල මෙතනින් පැලී ගොය බවත්ය. මීට අමතර මෙය හා සම්බවන්ධ විවිධ ආකාරයේ නිධාන කතා රාශියක් අප මීට පෙර අසා තිබුණු අතර ශ්‍රී ලංකාවේ නිධානයක් සම්බන්ධ නොවන ස්ථානයක් සොයා ගැනීමට අපහසු නිසා අප එම කතා බැහැර හැරියේ මේ පිළිබඳව නිශ්චිත තිරතුරු දන ගැනීම අපහසු නිසායි. අපගේ ගමන්නතය මෙය වූ අතර අප බෝට්ටු කරුගෙන් සමුගෙන එම ස්ථානයේ පිහිටි වැලි ගොඩ දමනා තොටුපලකින් බැස්සේ මෙම පැලුණු ගලෙහි පුරාවෘතයට සම්බන්ධ තවත් ගලක් සොයා යාමේ අටියෙනුයි.

ඒ දියගම ගිරි ලිපිය යනුවෙන් හඳුන්වන එතරම් ප්‍රසිද්ධ නැති සෙල් ලිපියකුයි. මෙය පැලුණු ගලට යාබදව ඇති ගොඩ බිම් තීරුවේ පිහිටා ඇති අතර එය දැනට කමලා ජයන්ති නම් තැනැත්තියකගේ ඉඩමේ කොටසක පිහිටා ඇත. මෙය පුරා විද්‍යාඥ මුලර් මහතා විසින් සොයා ගෙන ඇති අතර දැනට සංරක්ෂිත මට්ටමේ පවතී. මෙහි ආරක්ෂාවට වහලක් ඉදි කර ඇති අතර අප වැලි ගොඩ දමනා ස්ථානයෙන් ගොඩබිමට පැමිණ එම ගල පිහිටි ඉඩම සොයා ගිය අතර අපට මග පෙන්වීමට ඉදිරිපත් වුයේ එම ඉඩම හිමි කමලානැන්දාගේ මුනුපුරෙකි. එම ස්ථානයේ අප ගල නිරීක්ෂණය කරන අතර කමලානැන්ද සිය කැමැත්තෙන්ම අපට විස්තර කියන්න ඉදිරිපත් වුණා. මෙම ගල වසාගෙන මහා ගම්මිරිස් වැලක් සිය දෙමාපියන්ගේ කාලයේදී මෙහිදී තිබී ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානය සොයාගෙන ඇවිදින් එම ගම්මිරිස් වැල සුද්ධ කර දමා මෙම ස්ථානය සංරක්ෂණය කල බවත් පුරාවිද්‍යාඥ මහාචාර්ය සෙනෙරත් පරණවිතාන මහතා පවා මෙතනට පැමිණ මෙම ලිපිය කියවීමට උත්සහ ගතතත් එයට අපොහොසත් වූ බවත් අවසානයේ මුලර් මහතා විසින් මෙය කියවා තේරුම් කල පරිදි මෙහි සඳහන් වන්නේ කළු ගඟ ආශ්‍රිතව ඇති කුඹුරු යායවල් වල අයිතිය එහි තිබු විහාරය සතු කල බවත් ලෙස ඇය පැවසුවා. එය එම ස්ථානයේ ඇති පුරාවිධ්‍යා සටහන් වලත් එලෙසින්ම සඳහන් වනවා. පසු ගිය දා ගැන වතුරට මෙම ස්ථාන පවා යට වූ බව ඇය තව දුරටත් පැවසු අතර අපට සිතුනේ එක කලකදී අප මේ සිටගෙන සිටි ස්ථානය හරහාද කළු ගඟ බවකුයි. මිශ්‍ර හැගීම් වලින් යුතුව අප අයගෙන් සමු ගත්තේ මේ සෙල් ලිපිය ගැන තව දුරටත් කරුණු සොයා බලන අටියෙනුයි.
Commentaires